Wednesday, November 9, 2011

FAKE ප්‍රොෆයිල් අඳුන ගමුද?

අන්තර්ජාලෙ හැම ප්‍රොෆයිල්(Profile) එකම නරක නෑ. ඇනෝනිමස්(Anonymous) ප්‍රොෆයිල් වුනත් තියෙනවා ඩීසන්ට්. එහෙම අය කිහිප දෙනෙක්ම අපෙ කෙල්ලෝ සෙට් එකෙත් ඉන්නව. ඒ නිසා මේ අද කතා කරන දඩයක්කාර ප්‍රොෆයිල් කියන්නෙ වෙනම මාතෘකාවක්. සමහර ප්‍රොෆයිල් ඉන්නවා ඉන්නෙ නමින්මයි, ඒත් එයාල නෝටිම නෝටි...

මොනවාද මේ දඩයක්කාර ප්‍රොෆයිල්? ඔයාලට එහෙම ප්‍රොෆයිල් එකකින් රික්වෙස්ට් එකක් ආවොත් අඳුන ගන්නෙ කොහොමද? 

අපි මේ පෝස්ට් කෙල්ලන්ට විතරයි කියලා පටන් ගත්තාට මට නම් දැන් හිතෙනවා මේ දේවල් හැමෝටම අදාල වෙනව කියලා.... කොල්ලන්ටත් නරක කරදර සිද්ද වෙන ආරාධනා ඔය වගෙ ප‍්රෆයිල් වලින් ගලාගෙන එන බවකුයි අහන්න තියෙන්නෙ.

දැන් ඔය ගොල්ලෝ බලනවා ඇති අපි මේවා මේ තරමට කොහොමද දන්නේ. එක අයියා කෙනෙක් කමෙන්ට් එකක කියලා තිබුනා 'අපිට මේවා හැම එකම වෙලා ඇති අපි මේ තරම් ලස්සනට මේවා ලියන්නේ කියලා'

අපි ඇනෝලා තමයි. ඒත් අපි ඇනෝනිමස් වෙන්නට හිතුවේ අපි තවම ඉගෙන ගන්න පොඩි අය නිසා. එහෙම නැතුව මේවා අපිට වෙලා තියන නිසා නම් නෙවෙයි.
ආ තව දෙයක්. අපෙ විද්‍යාලෙ ඇතුලෙ අපි මේ ගැන කරුණු හොයන සී අයි ඩි (CID) එකක්. ඒකට හේතුව නම් පස්සෙ කියන්නම්. හැබැයි නරක අදහසින් නොවෙයි.  ඉගෙනුම් සිදුවීමකටම තමයි... අපි අවුරුදු 2ක් තිස්සෙ මේ සමාජ විද්‍යා පර්යේෂණය කරගෙන ආවේ නිකම්ම නොවෙයි. කරුණු මහ ගොඩක් එකතු කරගෙන..

----------
















කතාවෙන් කතාවෙන් අපෙ ටොපික් එක යට යනව... හරි.. ෆේක් ප්‍රොෆයිල්.(Fake Profiles)...

ෆේක් ප්‍රොෆයිල් කියන්නේ.... නමක් නැති ඒවා නෙවෙයි. නමක් ඇති හෝ නැති , ඒත් අරමුණ සමාජජාලගතවීමට එහා ගිය දේවල්.ඔන්න කිහිපයක්...
  • අනෙක් අයව අපහසුතාවයට පත් කරන්න (පොඩ්ඩක් අපහසු හිතෙන , බොහෝ වෙලාවට සෙක්ස් සම්බන්ධ ප්‍රශ්න අහලා , එක්කො තමන්ගෙ පුද්ගලික තරහ කාර කම් පිරිමහගන්න ප්‍රසිද්දියෙ පුද්ගලයෙක් නෝන්ඩි කරලා)
  • තමන්ගේ සැබෑ ආශාවල් එක්ක බය නැතුව සෙල්ලම් කරන්න ( ලිංගික ආශාවල් වෙන්න පුලුවන්.. වෙන ආශාවල් වෙන්න පුලුවන්)
  • එහෙම නැතිනම් සැබෑ මුහුණ සඟවගෙන අදහස් පවසන්න (ඒක නම් අහිංසක වෙන්නත් පුලුවන්. භයානක වෙන්නත් පුලුවන්)
  • වෙනත් අයුතු ප්‍රයෝජනයක් ගන්න හරි යොදාගන්න ප්‍රොෆයිල් (මුදල් ගසා කෑම් , නාඳුනන ගැහැණු ලමුන් තාවකාලික වින්දයනකට බිලි බා ගැනීම් වෙන්න පුලුවන්)
  • ව්‍යාපාර අරමුණු  (ඔයාල දන්නවද ගණිකා වෘත්තිය සඳහා තැරැව්කරුවන් , ගනුදෙනුකාරයින් හොයන්නත් සමාජ ජාල පාවිච්චි කරන බව?)
 ඒවා තමයි ෆේක් හෙවත් දඩයක්කාර කියන නමෙන් මෙතනින් එහාට අපි හඳුන්වන්නෙ.

දැන් මෙතන ප්‍රතිචාර වලත් නොදන්න නම් තියනව . ඒවා ඔක්කොම මේ ෆේක් ගණයට අයිති නැතුව ඇති. හරිද?

ඔන්න ෆේක්(Fake) කියන ජාතිය අපි අඳුරගත්තා. දැන් බුදු සන්‍තෝ මේවායින් රික්වෙස් (requests) ආවම හොයාගන්නෙ කොහොමද? මෙන්න ටිප්ස් ටිකක්... මේ බොහොම ටිකයි. ඔයාලගෙ අත්දැකීමුත් එකතු කරන්න හරිද?

සාමානයයෙන් කෙල්ලෙක් තව කෙල්ලෙක්ගෙන් රික්වෙස් එකක් ආවම සැලකිල්ලෙන් බලනවා අඩුයි. අන්න ඒ වගෙ දේවල් පරිස්සම් වෙන්න. කොල්ලන්ට කියනවා නම් , කොල්ලෙක් කොල්ලෙක්ගෙ රික්වෙස්ට් එකක් ආවොත් සැලකිල්ලෙන් බලනවා අඩුද? (අදහස් කියන්න)

ප්‍රොෆයිල් ඇඩ් කරන්නට පෙර
  • මුයුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා (Mutual Friends) දිහා බොහෝම පරීක්ෂාවෙන් බලන්න .ඒ මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගානෙන් වැඩි ගානක් ඔබ නොදන්න ප්‍රොෆයිල් නම් (ඒ කිව්වේ ඔබ කලින් එහෙම නොදන්නා ප්‍රොෆයිල් ඇඩ් කොට තිබෙනවා නම්) , ඔන්න පරිස්සමෙන්
  • මියුචුවල් යාලුවන් නැති හරි එකක් දෙකක් හරි තියන නොදන්න ප්‍රොෆයිල් නම් ඇඩ් නොකරන තරමට ශරීරයට ගුණයි.
  • ඇඩ් කරන්නට ඉස්සෙල්ලා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න. ගෑනු නමෙන් තියන ෆේක් ප්‍රොෆයිල් වල ගොඩාක් වෙලාවට ෆොටෝස් බලන්න පුලුවන් පබ්ලික්. ඒවායෙ තියෙන්නෙ ඉතාම ලස්සන ගැහැනු ලමයින්ගේ (විවිධ) සහ නිකම් ඔහේ දාපු සාමාන්‍ය රූප ටිකක් විතරම නම්.. පරිස්සමෙන්..

  • ඒවායේ වෝල් එක, ඉන්ටරස්ට්ස් එහෙම බලන්න. නිතර එතන කමෙන්‍ටු ලියලා  එහෙම නැතිනම් ටිකක් ආයිත් පරිස්සමෙන්...
  • සමහර නිර්නාමික ප්‍රොෆයිල් තියනවා , නිර්නාමිකව නමුත් කරන්නේ මොකක් හරි අදහස් පලකිරීමක්. කමෙන්ටු ලිවීමක්. ඒවගෙ දේවල්. මේවා දේශපාලනික හරි වෙන මොකක් හරි හේතු බය නැතුව කියන්න යොදාගන්න ඒවා... ඒවා ඇඩ් කලාට ඔයාලට ගොඩක් දුරට හානියක් වෙන එකක් නම් නෑ. එතන එයාලගෙ අරමුණ වෙනස් නිසා. ඒත් ඉතින් ඒ මතවාද තමන්ට හරි යනවනම් විතරක් ඇඩ් කරන එකයි හොඳ...
  • ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා දිග ඇරලා බලන්න. ෆ්‍රෙන්ඩ්ස්ලාගෙන් 90%ක්ම ඇනෝම වගෙ පේනවනම් ( ඇනෝ වුනත් වෙන්න පුලුවනි) ඔන්න ප්‍රවේසමෙන්....
මම හිතන්නෙ ඉතුරු ටික කොමන් සෙන්ස් (Common Sense) නේද? :-o


ඊලඟ දවසෙ මම ලියන්නෙ මේ දඩයක්කාර ප්‍රොෆයිල් ඇඩ් කිරීමෙන් වෙන්න පුලුවන් භයානක දේවල් ගැන.
(අපිට පහුගිය කාලෙ විභාගෙ... දැනුයි පොඩි බ්‍රේක් එකක් ලැබුනෙ. ඉතින් කමෙන්ට් වලට උත්තර ලියන්න වෙන්නෙ දැන්. ඒ ගැන තරහ නෑ නේද???)

Friday, October 14, 2011

ස්ටේටස් අප්ඩේට් ලියන්නෙ බලාගෙනයි !

මේක ෆෙස් බුක් කතාවක්.
කෙ/ කො ල්ලන්ට කතාවක්...


එකසිය ගානට ස්ටේටස් අප්ඩේට් වලින් ආගිය , උන් හිටි හැම එකම , කොම්පීටරෙන්, ෆෝන් එකෙන් වමාරන ඕනෙ කෙනෙක්ට කියන කතාවක්.

ඕයික හරි අනතුරුදායක වැඩක්.  ඉන්න තැන් ආව වෙලාවල් , පිටත් වුනු වෙලාවල්, හිටිය තැන්... ඔය හැම දේම එලිදරව් කරලා නේද අපි දන්නෙවත් නැතුවම ?

ඔන්න කොල්ලනේ , කෙල්ලනේ බලාගෙනයි.  අපේ පුද්ගලික ජීවිතේ ඕනාවට වැඩියේ එලියට දාන්න එපා.

වුරු හරි අහයි , දැන් මම විල්පත්තු ට්‍රිප් එකක් යනවා. ඕක ෆේස්බුක් එකේ, ගූගල් එකේ දැම්මම වැරැද්ද මොකක්ද කියල. වැරැද්දක් නම් නෑ තමා. පවුල් පිටින් ගමන් යනකොට , හිස් ගෙවල් වලට පනින හොරු නූතන කාලෙ ෆේස් බුක් එකෙ බලාගෙන ඉන්නවද කවුද දන්නෙ ? 

නේද?

ඔන්න අද ලියුම කෙල්ලන්ටයි ,කොල්ලන්ටයි. කට්ටියටම  .... :-)

Thursday, October 13, 2011

ෆිල්ම් බොක්ස් , චැට් බොක්ස් .. කෝකද හොඳ ?

කෙල්ලනේ...

අම්මෝ සතුටුයි... මැස්සො වහ වහා තිබුන බ්ලොග් ලෑල්ලට අඩු ගානෙ දෙන්නක් ෆලෝ කරන බව කියලා ගිහින්. ඒත් මැදැයි.
ඔන්න අද මේක ලියන්නෙ කෙල්ලො සෙට් එකෙ තුන්වෙනි එකී. ඒ වයසින්. කරන වැඩ වලින් තුන්වෙනි පන්තියෙ එහෙම නෙවේ හරිද ඔන්න.

චැට් බොක්සි හරහා ලවු කරන එකයි,  ‍ෆිල්ම් හෝල් වල බොක්ස් වල ලවු කරන එකයි දෙකේ තියන සමාන හා අසමානකම් ලියන්ඩයි අද ලෑස්ති වෙන්නෙ.

චැට් බොක්සි හරහා = චැට් ලවු
‍ෆිල්ම් බොක්ස් හරහා = ‍ෆිල්ම්  ලවු  කියලා දාගමුකො කියවන්ට ලේසියට එහෙනම්.

ඔබ චැට් බොක්සය හරහා මල් කඩනවා නම් , ශාරීරික හානි අඩුය. ඒත් ටයිප් කරන අකුරක් ගානේ තව කොහේ හරි ඉස්ටෝරු වෙන එකනම් මතක තියාගන්ඩ. ‍ෆිල්ම් බොක්සය හරහා නම් (මම ගිහින් නැතත්) ශාරිරික ලවු එක සිද්ද වෙනවානේ.

චැට් බොක්සිය අස්සේ ලියන පේලි, විඩියෝ එකෙන් පේන රූප , එතකොට කටහඬ අනික් එකාට ඔයාගෙන් අහන්නෙ නැතුව රෙකෝඩ් කරගන්ඩ , ස්ක්‍රීන් ශොට් ගසා ගන්ඩ උපරිම නිදහස තියෙන තැනකි. ‍ෆිල්ම් බොක්ස් එක නම්කාගෙත් ඇස් වහලා පැනල යන්ඩවත් පුලුවනි. සාක්කි අඩුයි.

චැට් බොක්සිය ඕනෙ වෙලාවක ඕපන් ෆෝ යූස්. ‍ෆිල්ම් නම් ඉතින් යන වෙලාවට විතරනෙ.

චැට් බොක්සිය හරහා , එකක් ඇත්තටම හිත හිතා අනෙකක් ටයිප් කරන්ඩ පුලුවනිය. ඒත් ‍ෆිල්ම් බොක්ස් එකකින් නම් එහෙම බැරුව ඇති නේ???? (සිනා සිනා)

චැට් බොක්සියෙන් එක පාර මල් දහයක් සමාන්තරව කඩා ගත හැකිය. ඔබ දක්ශ නම් , අනිකාට හවු වෙන්නෙ නැත. ‍ෆිල්ම් බොක්සියෙන් නම් එහෙම බෑනේ ඉතින් නේදැ ????? (සිනා සිනා)

චැට් බොක්සියෙන් නම් හැන්ගෙන්ඩ පුලුවන්, ඉන්විසිබල් කියයි. සයින් අවුට් කියයි. එක එක ඒවා... ඒත් ‍ෆිල්ම් බොක්සියෙ නම් දොර ඇරියොත් , හැන්ගෙංඩ පුලුවනිද???? (සිනා සිනා)

ඔන්න ඉතින් මට තෙරෙන්නැහෙ ලිව්වා.

කෙල්ලනේ (කොල්ලො ශුවර් මේක හොරෙන් කියවනවා) .... දැන් පේනව නේද බයානක කම ?

ඕකෙ ලවු කරන්ට කලින් .... හිතන්න එක වරක් නෙවේ සිය වරක්....

හෙට උදෙ වෙද්දි කොපි දාස් ගානක් හැදිලා ඔයාල කරපු එක රෑක මල් නෙලිල්ල :-) නේද??????

Wednesday, October 12, 2011

හිතේ අමාරුකම් ඇනෝලට කීමේ ආදීනව...


අපේ කොල්ලො හරිම දස්සියො හිත් අමාරුකම් ගස් බෙන වලට කියන්ට.

ඇයි මම මෙහෙම කියන්නෙ? මට එහා පැත්තෙ මේ වෙලාවෙ ගොර ඇද ඇද නිදියන මෝඩ කෙල්ලත් එහෙම කරලා ලෝක අමාරුවක වැටුන නිසා. 

චුට්ටිත්තක් කොල්ලා එක්ක වලියක් ඇදුනාහම, කොල්ල දාල ගියාම, එහෙම නැතිනම් අම්ම බැන්නම , අපිට හිතෙන්නෙ ලෝකෙ කවුරුත් අපිට නෑ. ඉතින් අර චැට් ලිස්ට් එක දාස් ගානක් වට කරාගෙන 'හායි හායි' කියන එක තනිකම මකා ගන්න අවස්තාවේ හිටන් ඇබ්බැහියක් දක්වාමත් ඇදෙනවා.

ඉතින් එයින් පස්සෙ ගස් බෙණ කියලා හිතාගෙන පණ තියන හරක් රැලකට දුක කියනවා.  තමුන් නමින් නොදන්න , තමුන් අඳුනන්නෙ නැති, තමුන්ගෙ පරිසරයෙ නොවෙන අය කියලා උපකල්පනය කරගෙන තමුන් දුක කියන්නෙ අල්ලපු ගෙදර ඉන්න අන්කල්ට වෙන්ඩ බැරිද? ඇනෝ එකවුන්ට් වලට තමුන්ගෙ ආත්මෙ පාවල දීල ඒව දිරව ගන්ඩ බැරි වෙලා අනාත වෙන කෙල්ලො, බ්ලැක්මේල් වෙන කෙල්ලො මම ඕනේ තරම් දැකල තියනවා.

ඔන්න කෙල්ලනේ, ඔය ඇනෝනිමස් කුරුල්ලෝ, හාවෝ, පූසෝ යනාදී එක එක සිවුපාවෝ , තමුන්ගෙ නම් ගම් ඔක්කොම හංගලා ඉද්දි , කෙල්ලනෙ උඹලා කරන්නේ උඹලගෙ ආත්මේම වමාරන එක. 

වැමෑරුව නම් ඉතින් ආයෙ අනුභව කරන්ඩ අමාරුයිනෙ. තේරෙනවනෙ.

ලිඛිත සාක්ෂි ඉතුරු කරන්ඩ එපා,පොඩ්ඩ එහා මෙහා වෙද්දි ඔය අහිංසක පූස් පැටවු භයානක යක්ෂයො වුනාම පාඩු වෙන්නෙ තමුන් වමාරපුවා ආයෙ ඇදල ගන්ට අමාරු නිසා කියල හිතට ගනිල්ලා.

කෙල්ලනේ පරිස්සමෙන්.... හිතේ අමාරුවක් තියෙනවනම් සමීප යෙහෙලියකට, දෙමව්පියන්ට, සහෝදරයෙකුට/ සහෝදරියෙකුට කියන්න.

විශෙෂයෙන්ම , රෑ මධ්‍යාහ්නයෙ 'මට තේරෙනවා නංගි ඔයාගෙ දුක' කියාගෙන එන ගැලවුම්කාර සර්ව සානුකම්පිත සෝශල් නෙට්වර්ක් එකවුන්ට්ස් වලට තමුන්ගෙ ඇතුලාන්තය වමාරන එකෙන් වලකින්න. 


Tuesday, August 23, 2011

මධ්‍යම රාත්‍රියේ පැණි කුරුල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න !



මහ රෑ ජාමේ ඔන්ලයින් ඉන්න කුරුලු රාජයො ඔය ගොල්ලන් එක්කලා කයිය ගහන්න ඇවිත් තියනවාද ??
නිකමට හිතුනද ,අම්මාපල්ල මේ කොල්ලන්ට රෑට නින්ද යන්නෙ නැද්ද කියලා. (දැන් ඉතින් ඒක කරනා කෙල්ලගෙනුත් අහන්න වෙන්නෙ ඒකම තමයි ඉතින් )  :-)

අපි හිතෙ මොකක් හරි දුකකින් ඉද්දි තමයි නිතරම චැට් එක දිහා බලාගෙන ඉන්නෙ. මම හරිද?  එක්කො මොක්ක හරි වැඩක්...

රෑ මැදියමේ ඉන්ටනෙට් එක අස්සෙ ඉබාගාතෙ සැරිසරන ගෑනු ලමයි ගොල්ල ගැන වඩාත්ම දුක් වෙන්නෙ ඒ වෙලාවල් වලම හොඳ හෝදිසියෙන් ඉන්න පිරිමි ලමයින්... මේ වෙලාව තමා හොඳම වෙලාව.. බොක්කට අමතාගන්න.. 

මම නම් මේ අත්දැකීමෙන් කියන්නේ. ඒක හරිම නිශ්ෂබ්ධ , සෙන්ටිමෙන්ට්ල්, රොමෑන්ටික්,හයානක වෙලාවක් !

ප්‍රේමනීය වචන වලින් සහෝදර හීතල එවන 'අයියා' එක්ක චැට් එක වොයිස් කෝල් වෙන්න, වොයිස් කෝල් එකෙ වීඩියෝ එක ඔන් වෙන්න ගත වෙන්නෙ සිම්පල් වෙලාවක්... අයිය දක්ෂ නම් ෆෝන් නොම්බරෙත් අතේ !!!! :-) කොහොමද කොල්ලගෙ හපන් කම ????

ඉතින් ඊට පස්සෙ ??? ප්‍රේම තටාකේ මේකයි මැනිකේ !!! හෑක් හෑක් හෑක් :-) 


කෙල්ලනේ... තොපලාට රැවටිල්ලෙන් තොර හෙට දවසක් වේවා !!!!

Monday, August 22, 2011

හයානකයි චැට් !!!!!

මේ ගැන නම් කොච්චර ලිව්වත් මදි... මොනවද? චැට් !!!!!!!



මූණ නොපෙනී එහා පැත්තෙ ඉන්න එකාට මොනවද කියාගන්න බැරි?? මූන නොපෙනෙන වසංගතය නම් හිතන තරම් සුලුපටු නැහැ. ලේසියෙන් ගන්නත් බැහැ. 


හරීම අනුවේදනීය කතාවක් එක් කොනක ඉන්න කෙනෙක් තෙපලද්දි අනික් කොනේ ඉන්න එකා , හොටු පෙරාගෙන අඬන ඉස්මයිලියක් දමමින් , ඒ අස්සෙ මේ කතා අන්දර තමන්ගෙ කාර්යාල සගයටත් පෙන්වමින් , උඩ පැන පැන සිනා වෙනවා වෙන්නට පුලුවනි....

ඔන්න පරිස්සමෙන්.... 


මේ එක සිදුවීමක් විතරමයි....

මේ වගෙ තව එකකින් ඉක්මනට ආයෙත් එන්නම් 


කෙල්ලනි, ඔබට රැවටීමෙන් තොර සුබ දිනයක් !

Saturday, August 20, 2011

වෙල්කම් Welcome කෙල්ලනේ..


ආදරයෙන් සාදරයෙන් ඔන්න පිලිගන්නවා ඔයගොල්ලන්ව..

පොඩියෙන්ම කියනවනම් ඉතින් අපිට මේ පිටුව හදන්න හිතුනෙ , අන්තර්ජාලය මේ ඉස්කෝලෙ යන යුනිවර්සිටි යන, රස්සා කරන පුංචි ඇච්චි බැච්චියො නිරපරාදේ නාස්ති වෙන්නෙම ඉන්ටනෙට්ටුව නිසාය කියලා හිතෙන්ඩ ගත්ත නිසා... සහතික ඇත්ත තමයි, මේ පිටුව ලියන අපේ බැචියන් කීපෙ දෙනෙකුත් මේ අපරාදෙටම මුහුණ දෙන්න සිද්ධ වෙච්චි අයමයි. ඒ ඈයොම තමයි අදහස ඉස්සර කෙරුවේ අපි මෙහෙම දෙයක් ලියමු අනෙක් ගෑනු දරුවො වෙනුවෙන්ම කියලා...  කොටින්ම උන්ට තියන කේන්තිය පිට කරන්ට වෙන කරන්ට දෙයක් නෑලු :-)

අපිට ගොඩාක් බරපතල දේවල් ලියන්න නම් වෙලා නැහැ. අපි දැනට කියවපු බ්ලොග් වල තියන තරම් සාරගර්භ දේවල් ලියන්න එක පැත්තකින් අපිට දැනුමක් නෑ. අනික් පැත්තෙන්, අපි හරීම කම්මැලි කෙල්ලො සෙට් එකක්. ඒ නිසාවෙන්ම , අපිට වෙච්ච පොඩි අත්දැකීම් එක්කහු කොරලා මේ වැඩේ කරගෙන යන්න ඔයාලත් උදව් කරනව නේද අපිට ????

කෙල්ලො කොල්ලො ඕනෙම කෙනෙක් කියවන්න ... කියවල බනිනව නම් බැන්නත් අපිට මොකද අනේ... :-) ඔන්න හෙට ඉඳලා... ප..ට්..ටා..න් ගන්නයි යන්නේ... 

එකායි...

දෙකායි...

තුනායි....

පප්පර පප්පේ පා !!!!!

හෙට හිටන් ලියනවා, සමාජ ජාල (Social Network) නිසා විනාස වෙන කෙල්ලන්ට හොඳවෑයින් 'කණේ පාර' සීරීස් එකක්..

මීට
ඔය මනස්ගාත පේන්නම බැරි 
ලොකු කෙල්ල (බ්ලොග් එක අයිති මහ එකී)